October 9, 2013

නුදුරේම දොරටු ඇරෙන කටුනායක අධිවේගී මග

" විශේෂයෙන්ම විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත යන මගීන්ටත්, එතෙර සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජනතාවටත් මේ අධිවේගී මාර්ගය ඔස්සේ විශාල පහසුවක් සැලසෙනු ඇතැයි රජයේ අදහසය "
 


රළ නඟන කළපු දිය නෙතට හසුවන එක් මනරම් දසුනකි. තවත් තැනක මලින් පිරි මල් ගොමුය. මෙවැනි සොඳුරු දසුන් පසුබිමට දිවයන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මේ සටහන ලියැවෙන මොහොතේ ජනතා අයිතියට පත්වී නැතත් ඔක්තෝබරය ගෙවී අවසන් වෙන්නට පෙරාතුව එය ශ්‍රී ලාංකීය ජනතාවගේ තවත් උරුමයක් බවට පත්වන බව නම් නිසැකවම කිව හැක්කකි.
පෑලියගොඩ කැලණි පාලම අසලින් ආරම්භව කටුනායක තෙක් දිවෙන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ අවසානය තෙක් අප ගිය ගමනේ අරමුණ වූයේ ලාංකීය අධිවේගී මාර්ග අතරට එක්වන නව අධිවේගී මාර්ගය ගැන තොරතුරු අවධාරණය කර තැබීමය.
අධිවේගී මාර්ග ඉදිකිරීමේදී ඒ අවට පදිංචි ජනතාවට තම පාරම්පරික නිවෙස්, ඉඩකඩම්, දේපළ අහිමි වූ ඒ ජනතාවට ඇතිවන සමාජීය, මානසික ගැටලූ සහ පාරිසරික ගැටලූ සම්බන්ධව අප ඉකුත් ජුනි මාසයේදී ලිපි පෙළක් ඔස්සේ ගැඹුරින් සාකච්ඡුා කළ හෙයින් ඒ කිසිවක් පිළිබඳව අපි මෙහිදී කතා නොකරමු.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ එම්.පී.කේ.එල්. ගුණරත්න මහතා අප හමුවූයේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය පිළිබඳව අප ලියා තබන සටහනට අවැසි තොරතුරු ලබාගැනීමේ අරමුණෙනි.
කිලෝ මීටර් 26 ක දුරකින් යුත් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තවත් අතකින් අපේ රටට පා තබන සංචාරකයන් පිළිගන්නට බලා හිඳින බුමුුතුරුණක් වැන්න. කටුනායක ගුවන් තොටුපොළින් කොළඹ නගරය වෙත පැමිණෙන සංචාරකයන් පළමුව පැමිණෙන මාර්ගය මෙයයි. සුවපහසු ගමනකට සලසන ඉඩහසර මෙන්ම මග දෙපස ඇති සුන්දරත්වය ද එම සංචාරකයන් වෙත ශ්‍රී ලංකාවේ සෞන්දර්යය පිළිබඳව පහන් හැඟීමක් ඇති කරන්නට හේතුවනු නිරනුමාන බව එහි ගමන් කරද්දී අපට ඇතිවූ හැඟීමයි.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වැදගත්ම කරුණු කිහිපයක් ඇසුරින් අපට අවධාරණය කළ හැකිය.
ප‍්‍රධාන වාණිජ නගරය ලෙස සැලකෙන්නේ කොළඹයි. කොළඹට ආසන්නම නගරයක් වන, එමෙන්ම රටේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ පිහිටි නගරය වන කටුනායක නගරයට ඉතාමත් කෙටි කාලයකදී යා හැකි පහසුතම කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිවීම ඔස්සේ ලැබේ. විශේෂයෙන්ම විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත යන මගීන්ටත්, විදෙස් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජනතාවටත් මේ අධිවේගී මාර්ගය ඔස්සේ විශාල පහසුවක් සැලසෙනු ඇතැයි රජයේ අදහසය.
 
 
පෑලියගොඩ කැලණි පාලම අසලින් අරඹන කටුනායක ගමනාන්තයෙන් කෙළවර කරන්නට ගතවන කාලය විනාඩි විස්සකි. විවේකාගාර, අවන්හල් වැනි දේ මේ අධිවේගී මාර්ගය පසුබිම්ව ඉදි නොවුණේ විනාඩි විස්සක පමණ වේලාවකින් කිලෝමීටර් 26 ක මෙම දුර ගෙවා නිමකළ හැකි හෙයිනි.
කැලණි පාලමෙන් ආරම්භ වන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේදී හුවමාරු මංසන්ධි 4 ක් හමුවේ. නව අධිවේගී මාර්ගයේ ගමන් ගාස්තු මෙතෙක් තීරණය කර නැත. එම ගාස්තු වාහනයෙන් වාහනයට වෙනස් වේ.
පා පැදි, ට‍්‍රැක්ටර්, ත‍්‍රිරෝද රථ, මෝටර් බයිසිකල්, ගර්හිත එන්ජින් හා දුමාරය වැඩි වාහනවලට අධිවේගී මාර්ගයේ දොරටු වැසෙන අතර තිරිංග හා සුක්කානම් පද්ධතිය හොඳ තත්ත්වයේ පැවතීම, සංඥා හා ලාම්පු හොඳින් ක‍්‍රියා කිරීම, ආසන පටි, පැත් කණ්ණාඩි නියමිත ආකාරයට තිබීම, වේග මීටර් ඇතුළු අදාළ මීටර් සියල්ලක්ම ක‍්‍රියාත්මක වීම, ටයර්වල වායුපීඩනය නියමිත ප‍්‍රමාණයට පැවතීම යන සුදුසුකම් වලින් එහි ධාවනයට සුදුසුකම් ලබන වාහන පරිපූර්ණ විය යුතුය.
ඒ අධිවේගී මාර්ග හා බැඳුණු ප‍්‍රමිති වන අතර විශේෂයෙන්ම මාර්ග අනතුරු වළක්වා ගැනීම පිණිස එකී නිර්නායකයන් වැදගත් වෙයි.
මිනිසුන්ගේ ධාවන කාලය ඉතිරිවීම, ඒ ඉතිරිවන කාලය ඔස්සේ රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට ජනතාවට වැඩි ශ‍්‍රම දායකත්වයක් ලබාදීමට හැකිවීම, ඉන්ධන ඉතිරිය, අධිවේගී මාර්ග ඉදිකිරීම ඔස්සේ රටකට හිමිවන වාසි සහගත ප‍්‍රතිඵල ලෙස සඳහන් කළ හැකිය.
 

මහා මාර්ගයේදී හමුවන සොඳුරු දසුන්

No comments: